පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තිව අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සේවායෝජකයන් විසින් සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.
වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන ආකාරයට සේවා යෝජකයින් විසින් නිවාඩු ලබා දීම සිදු කළ යුතු බව පසුගිය 2 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඡන්දය සඳහා නිවාඩු දෙන්නැයි ලිඛිතව ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු දිය යුතු බව එම නිවේදනයේ දැක්වේ.
එලෙස ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවකයින් ද ඇතුළුව සියලු සේවකයින් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු බව උපදෙස් මාලාවේ සඳහන් වේ.
රාජ්‍ය අංශයේ සේවකයින්ට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පැය 4ක අවම කාලයක් යටතේ ඒ සඳහා අවශ්‍ය යැයි හැඟෙන කාලයට වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතුය.
ඒ සඳහා දිය යුතු කාලසීමාව, සේවා නියුක්තිකයාගේ කාර්යාලයේ සිට ඡන්දපොළට ඇති දුර ප්‍රමාණය අනුව සේවා යෝජකයා විසින් තීරණය කළ යුතුවේ.
සියලු සේවා යෝජකයින්, විශේෂ නිවාඩු ඉල්ලුම් කළ පුද්ගලයින් සහ නිවාඩු ප්රදානය කෙරෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.