මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.
ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව ඒම කොමිෂන් සභාව සඳහන් කළේය.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පුද්ගලයින් 68 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම කාලය තුළ නඩු 56ක් අවසන් කිරීමට ද පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු 237ක් තවදුරටත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර විත්තිකරුවන් 19 දෙනෙකු මේ වසරේ ගතවූ කාලය තුළ වරදකරුවන් බවට පත්වී ඇති බව ද සඳහන් වී ඇත.