ඉදිරි වසර 05 තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) දින පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව කියා සිටියේ ය.
රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දිය.
රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රටේ ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ජනතා සේවාවන් කප්පාදු කිරීමකින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අනවශ්‍ය වියදම් අවම කර ගත යුතු බවද කියා සිටියේ ය.