අන්තර්ජාල මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත මේ මාසයේ ගත වූ දින 15 තුළ පමණක් විදෙස් ජාතිකයින් 218 දෙනෙකු මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම ඊයේ හලාවත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී හලාවත ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් 10 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පිරිසෙහි චීන ජාතිකයින්ට අමතරව මැලේසියානු, ඉතියෝපියානු හා කෙන්යානු ජාතිකයින්ද අයත් වීම විශේෂත්වයකි.
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත දිවයිනේ ප්‍රදේශ රැසකින් අවස්ථා ගණනාවකදී විදෙස් ජාතිකයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබිය.
මෙම මූල්‍ය වංචා මියන්මාරය සහ තායිලන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක සයිබර් කඳවුරු ආකාරයෙන්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිය සහයෝගය ලබා දෙන බවට නිවේදයනක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය දැනුම් දුන්නේද එවන් පසුබිමක් තුලදීය.
මේ අතර හලාවත ප්‍රදේශයේදී අත අඩංගුවට ගත් සැකකරුවන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අනාවරණය වුයේ අදාළ සැකකරුවන් ලැගුම් ගෙන සිටි හෝටලයට පසුගිය අගෝස්තු මස පළමු වැනිදා සිට මසකට රුපියල් ලක්ෂ 19 බැගින් ගෙවා ඇති බවයි.
මෙම සිද්ධියට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණය ට දැනුම් දී තිබේ.
එමෙන්ම පොලිස් භාරයට ගත් පරිගණක සහ දුරකථන වැඩිදුර විශ්ලේෂණය සඳහා මොරටු විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු සැකකාර විදෙස් ජාතිකයින් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.